වන්ග්චුක්ලා ට පිස්සු!
වන්ග්චුක්ලා ට පිස්සු !
ජිග්මේ ඛේසාර් නම්ගෙයිල් වන්ග්චුක් කියන්නේ අපේ අසල්වැසි භූතානයේ රජ්ජුරුවෝ ය. රජ්ජුරුවෝ කිව්වට එයාට ඇති රජ “ගතියක්” නැත. මැරෙනකම් රජකමේ ඉන්න හැකියාව තිබුනත්, අළුත් ව්‍යවස්ථාවක් සාදා, “රජ කෙනෙක් වුවත් අවුරුදු 65න් විශ්‍රාම යා යුතු යැ” යි නීතියක් ගෙනාවේ වන්ග්චුක් ගේ සමයේ ය. “මරලා හරි ගන්න” ඕන රජකම් එහෙමත් අත අරිනවද ? පිස්සු !
ජිග්මේ ඛේසාර් ගේ පියා, භූතානයේ හතර වැනි රජු ජිග්මේ සිංග්යේ වන්ග්චුක් ඊට වඩා පිස්සෙකි. “රටේ දළ දේශීය නිශ්පාදිතයට වඩා දළ දේශීය සතුට වැදගත්” යන අදහසක් ඉදිරිපත් කලේ ඔහු ය. භූතානයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය නිදහස් සේවාවන් බවට පත් වුනේ ඔහුගේ කාලයේ ය. ඒ ජනතාවගේ සතුට වඩා වැදගත් යැයි සලකා ය. දළ දේශීය සතුට ? ඒ මොකද්ද ? පිස්සු !!
ජිග්මේ සිංග්යේ ගේ කාලයේ හදන්නට පටන් ගත්, ජිග්මේ ඛේසාර් ගේ කාලයේ සම්මත වුනු භූතානයේ ව්‍යවස්ථාව පිස්සු ව්‍යවස්ථාවකි. එකී ව්‍යවස්ථාවේ සෑහෙන පිස්සු වගන්ති තිබේ. ඒවාගෙනුත් දකින විට සිනා යන පිස්සු වගන්තිය නම් “සෑම කල්හි ම, භූතානයේ සමස්ත වනාන්තර වැස්ම මුළු භූමි ප්‍රමාණයෙන් සියයට හැටක් විය යුතුය” යන්නයි. රටේ මුළු භූමියෙන් 60% ක් වනාන්තර ? එහෙම කොහොමද රටක් දියුණු කරන්නේ ? පිස්සු !!!
ශ්‍රී ලංකාව මෙන් හරි අඩක් පමණ භූමි ප්‍රමාණයක් ඇති භූතානය, ලොව ඇති එකම කාබන්-ඍණ රටයි. එනම්, වාර්ශික ව භූතානයෙන් නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් භූතානයේ වන වැස්ම විසින් වාර්ශික ව උරා ගනු ලබයි. අසල් වැසි රටවල් වල කාබන් සොරොව්වක් ලෙස භූතානය ක්‍රියා කරයි. අනුන්ගේ රටවල් වල හදන කාබන් ඩයොක්සයිඩ් තමන්ගේ රටෙන් අයින් කරන්න ? පිස්සු !!!!
අපේ වාසනාවට හා රටේ වාසනාවට අපිට එවන් පිස්සු “රජවරු” වත් “මොළකාර” හෝ “සරළ” පාලකයන් වත් ලැබුනේ නැත. ලැබුනා නම් අපටත් භූතානයේ උන් මෙන් පිස්සුවෙන් ජීවත් වන්නට සිදුවන්නට ඉඩ තිබුනි. පිස්සු !!!!!
ප.ලි.: භූතානය යනු ලොව සතුටින් ම වසනා මිනිසුන් සිටිනා රටවල් වලින් එකකි. ශ්‍රී ලංකාව එම දර්ශකයේ… එක්කෝ ඕන්නෑ, පිස්සු !!!!!!