පරිසරය, අධිපරිභෝජනය, හා නැවත ගල් යුගයට යෑම

රස්තියාදුකාරයා
#criticism#environmentalism#consumerism#politics
Stone age poster from stock images

පාරිසරික ගැටළු යනු අප ශිෂ්ඨාචාරයක් ලෙස අද මුහුණ දෙන ප්‍රධානත ම ප්‍රශ්නය නොවේ නම්, ප්‍රධානත ම ප්‍රශ්න වලින් එකකි. අද වන විට අප මුහුණ දෙමින් සිටින දේශගුණික විපර්යාස නුදුරු අනාගතයේදී මීටත් වඩා දරුණු ලෙස මුහුණ දීමට අපිට ලෝකයක් ලෙස සිදුවනු ඇත.

මේ ගැටළුවට විසඳුම් සෙවීමට පෙර, ගැටළුව ගැටළුවක් ලෙස හඳුනාගැනීම ද, ගැටළුව තේරුම් ගැනීම ද අත්‍යාවශ්‍යය.

මේ සමාජ-ආර්ථික ක්‍රමය තුල අපට පුන පුනා බලකෙරෙන්නේ සියලු දේ දිහා වියුක්තව බැලිය යුතු බව ය. යුද්ධය එක ප්‍රශ්නයකි. පාරිසරික ගැටළුව වෙනත් ප්‍රශ්නයකි. දුප්පත්කම, ඇති-නැති පරතරය තව ප්‍රශ්නයකි.

නමුත්, මේ ගැටළු සියල්ල එකිනෙක හා බැඳී පවතින බවත්, මේවා වියුක්ත ගැටළු නොව, සංයුක්ත, ක්‍රමවේදීය, පද්ධතිගත ගැටළුවක් බව හඳුනාගැනීම, තේරුම් ගැනීම ඉතා අවශ්‍යය ය.

අප දැන් අත්දකින ලාභය පමණක් ම මූලික වූ මේ ආර්ථික-සමාජ මොඩලය තුල, සතා සීපාවුන්, ගහ කොළ, මිනිස් ජීවිත, මතු නොව, සමස්ථ ග්‍රහලෝකය ම පවා දෙවැනි තැනට ඇද දමා ඇත. මෙසේ ලාභය වැඩි කරගැනීමට නම්, ලාභ ඉපැයීමට නම්, මිනිසුන් වැඩි වැඩියෙන් පරිභෝජනය කළ යුතුය. වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමට නම්, වැඩි වැඩියෙන් සම්පත් භාවිතා කළ යුතු ය. මෙලෙස අසීමිත සම්පත් පරිභෝජනය, හෙවත් අධිපරිභෝජනය, අප මුහුණ දෙන දේශගුණික විපර්යාස වලට ප්‍රධානත ම හේතුවකි.

ඉතින්, මේ ආර්ථක මොඩලයන්ගෙන් නැවත නැවතත් යෝජනා කරන පරිදි “අඛණ්ඩ වර්ධනයක්”, සීමා සහිත සම්පත් ඇති ග්‍රහලෝකයක, තිරසාර ලෙස පවත්වාගත නොහැක. ඉතිං මේ කඩා වැටීම, එනයින් පුදුමයක් හෝ අරුමයක් නොවේ.

ඉතින්, මේ අසීමාන්තික වර්ධනය සහ ලාභය මූලික වූ ආර්ථික ක්‍රමයක් වෙනුවට, තිරසාර, මානුෂීයත්වය මුල් කරගත් ආර්ථික ක්‍රමයක් වෙත ගමන් කිරීම, මේ වන විට අපට ඇති එක ම විසඳුමයි.

නමුත් “අධිපරිභෝජනය” යන වචනය ඇසූ සැනින් අවි අමොරාගෙන ඉදිරියට එන අය කියන ප්‍රධාන කතා කීපයක් තිබේ.

  • “එහෙනං ගල් යුගේට යමං”
  • “උඹ ඇයි ඇඳුම් අඳින්නේ?”
  • “ඕක ටයිප් කරෙත් ෆෝන් එකෙන් නේද?”

මේ ගැටළු වලට මුලින් උත්තර දී ඉමු.

අධිපරිභෝජනය ගැන ඇසූ සැනින් දුවගෙන එන මේ බොහෝ දෙනා සිතන් ඉන්නේ තමන් ද මේ අධිපරිභෝජනය කරන පුද්ගලයන් ගොඩට අයිති බව ය. ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ රටක, සාමාන්‍ය රැකියාවක් හෝ සුළු ව්‍යාපාරයක් කරනා මේ අය “මමත් අධිපරිභෝජනය කරන සුපිරි පොරක්” වැනි මානසිකත්වයක සිටින ආකාරය දුටු විට සිහිවන්නේ රජවාසල මෙහෙකරුවන් රාජාණ්ඩුක්‍රමය වෙනස් කිරීමට එරෙහි වන්නා වැනි වූ හැඟීමකි.

අපි මේ සම්බන්ධ දත්ත කීපයක් විමසා බලමු. (මේ දත්ත 100% ක් නිවැරදි නොවිය හැකි ය, නමුත් ඒවායින් ගම්‍ය වන අදහසට, එය 100% නිරවද්‍ය නොවීම බල නොපායි).

එක් දත්තයකට අනුව, මේ වන විට විලාසිතා කර්මාන්තය නිසා, ලොව නිපදවා ඇති ඇඟලුම් ප්‍රමාණය, මිනිස් පරම්පරා හයකට ඇති වනු ඇතැයි ගණන් බලා ඇත. මේ තරම් ඇඳුම් කාට ද?

පාරිසරික ගැටලුවට ප්‍රධාන හේතුවක් වන කාබන් විමෝචනය සලකමු. ලොව ජනගහණයෙන් ධනවත් ම 1% වසරකට විමෝචනය කරන කාබන් ප්‍රමාණය, ලොව ජනගහණයෙන් දුප්පත් ම 60% වසරකට මුදාහරින ප්‍රමාණයට වඩා වැඩි ය.

ලොව නිශ්පාදනය කරන ආහාර ප්‍රමාණය අප සියලුදෙනාට ම ප්‍රමාණවත් වුවද, කෑම බීම නොමැතිව මියයන මිනිසුන් ලොව බොහෝ වෙති.

ධනපතියන් විසින් නිවාස මතු නොව පුද්ගලික දූපත් ද හිමි කරගෙන සිටිද්දී, නිවාස අහිමි මිලියන ගණන් මිනිසුන් සිටිති.

දස දහස් ගණන්, මිලියන ගණන් මිනිසුන් මිය යද්දී වුව ද, අවි ආයුධ වෙළඳාමේ ලාබය වෙනුවෙන් අදටත් යුද්ධ නිර්මාණය කරති.

පරිසරය සුරැකීම වෙනුවෙන් ඔබත් මමත් කඩදාසි බටයෙන් බීම බොන අතරේ, සුප්‍රසිද්ධ බිලියනපතියන් තම සහකරු/සහකාරිය හමුවීම සඳහා සති අන්තයේ පුද්ගලික ජෙට් වලින් එහා මෙහා ගොස් එති. සිය විවාහය සඳහා ජෙට් සියයක් පමණ රැගෙන සති අන්ත ගත කර එති.

ඒ කාරණා එසේ පවතිද්දී, සාමාන්‍ය රැකියා කරන පුද්ගලයෙකු විසින්, බිලියනපතීන්ට වඩා බදු ද ගෙවති.

මේ ලෙස ලාබය වෙනුවෙන් අවශ්‍යතාවයන් නිර්මාණය කරමින් නිශ්පාදන වැඩි කිරීම, ඒ සඳහා අසීමිතව සම්පත් පරිභෝජනය, සම්පත් බෙදී යාමේ ඇති අධික විෂමතාවය, ඉතා සුළු පන්තියක් විසින් අන් සියල්ලන්ටම වඩා සම්පත් අසීමිතව පාවිච්චි කිරීම, ප්‍රාග්ධනය සීමිත තැන් වලට එක්රැස් වීම, එකී ප්‍රාග්ධනය නිසා ඇතිවන අසීමිත සිවිල් බලය, ඒ බලය භාවිතා කරමින් සිදුකරන පද්ධතිගත සූරාකෑම, ආදිය පද්ධතිගත ගැටළුවක් බව වටහා ගැනීම අපහසු නොවේ.

ඉතින්, මේ අධිපරිභෝජනය යනු, ඔබත් මමත් රැකියාවට වාහනයකින් යාමවත්, ස්මාර්ට් දුරකතන පාවිච්චි කිරීමවත් නොවේ. ලාබය වෙනුවෙන් මේ සා අසීමිත සම්පත් පාවිච්චියත්, අසීමිතව සම්පත් බෙදී යාමේ විෂමතාවයක් නඩත්තු කිරීමත් ය. අධිපරිභෝජනය නැවැත්වීම යනු ආපසු ගල් යුගයට යාමත් නොවේ! (මින් අදහස් වන්නේ අපි ඕනෑ ඕනෑ ආකාරයට පරිභෝජනය කිරීම ගැටළුකාරී නොවන බව නොවේ, පොදුවේ පරිභෝජනය සීමා විය යුතු ය).

මේ විෂමතා නඩත්තු කිරීම, එසේ ම හැකි අයට අසීමිත සම්පත් භාවිතා කිරීමේ නිදහස ලැබීම, ඒ අතර සම්පත් හිඟතාවයෙන් ලොව බහුතරයක් දුක් විඳීම යන මේවා මේ ක්‍රමයේ නිසඟ ලක්ශණ මිසක, අතුරුඵල නොවේ. ඉතින්, අධිපරිභෝජනය නැවැත්වීම යනු, මේ ආකාරයෙන් සම්පත් බෙදී යාමේ විෂමතාවය නැවැත්වීමත්, තිරසාර ලෙස සම්පත් පරිභෝජනයත් ය. එසේ නොමැතිව, ගල් යුගයට නැවත යෑමට කරන යෝජනාවක් හෝ, ඇඳුම් නැතුව සිටීමට කරනා ආරාධනයක් නොවේ.

මේ සඳහා විසඳුම් සෙවීමට නම්, මුලින් මේ ගැටළුව, එහි සැබෑ ආකාරයෙන් හඳුනා ගැනීම වැදගත් ය. ඉතින්, මින් පසු යමෙක් අධිපරිභෝජනය ගැන විවේචනයක් ගෙන එද්දී, ආපසු ගල් යුගයට යෑමට ප්‍රතියෝජනා නොකර, මොහොතක් සිතීම යහපත් ය.

Related Posts